කථා කිරීම හා බැඳි ආබාධ

කථා කිරීම හා බැඳි ආබාධ


කථා කිරීම සංකීර්ණ ක්‍රියාවලියකි. එමඟින් තොරතුරු හා සිතුවිලි සන්නිවේදනය කෙරේ. අන් අයට තේරුම් ගත හැකි පරිදි කතා කිරීමට,පළමුවෙන්ම සිත තුළ අවශ්‍ය දේ ගොඩනඟාගත යුතුය. ඉන් පසු මතකයේ රැඳී ඇති දත්තයන් උපයෝගී කරගෙන සම්මත සකුණු වචන ආදිය භාවිතයෙන් කථා කිරීමේ යාන්ත්‍රණය තුළ අවධීන් කිහිපයක් ඇති බව ඔබට වැටහෙනවා ඇත. මේ කුමන හෝ අවධියකදී ඇති වන දෝෂ හේතුවෙන් කථාව පිළිබඳව ආබාධ පැන නැඟීමට පුළුවන. කථාව ගොඩනැංවීම සඳහා මොළයේ ලලාට, ශංඛක හා පාර්ශ්වික යන ප්‍රදේශ ක්‍රියාකාරී වන අතර බාහිරට ප්‍රකාශ කිරීමේදී ස්වරාලය, ග්‍රසනිකාව, තල්ල, දත්, තොල්, දිව හා නාසය යන අවයවයන් සැම ක්‍රියාත්මක වේ. 
කථාවේ යථා ස්වභාවය පවත්වාගෙන යාම සඳහා බුද්ධි මට්ටමද බළපායි.  බුද්ධියේ අඩු බව කථාවේ හරියාකාර වර්ධනයට බාධා පමුණුවයි. මොළ බාහිකයේ ස්නායු සෛල පරිහාණි වීම නිසා හටගන්නා වික්ෂේපය හෙවත් ඩිමෙන්ෂියාව වැනි රෝග තත්ත්ව වලදී සිතුවිලි හරියාකාරව සංවිධානය කරගැනීමට නොහැකි වේ. මොළයේ ආසාදන පිළිකා වැනි අස්වාභාවික වැඩීම් වාහිනීගත දෝෂ හා හදිසි අනතුරු ආදිය නිසා සිදුවන හානි මඟින්ද කථා කිරීමේ යාන්ත්‍රණයට බාධා පැමිණිය හැක.
මොළය ප්‍රමුඛ අර්ධ ගෝලයට සිදුවන හානි නිසා දුර්භාෂය හෙවත් ඩිස්පේසියාව ( dysphasia ) හට ගනී. මෙය භාෂාවේ සංකේතාත්මක පැත්තේ දෝෂ නිසා හටගන්නා තත්ත්වයකි. ප්‍රකාශ කිරීමේ දුර්භාෂයේදී ( motor dysphasia ) රෝගී පුද්ගලයාට උචිත වචන උපයෝගී කරගෙන මනසේ සිතුවිලි නිපදවා ගැනීමට හැකි වුවද එය අනුරූප ශබ්දවලට පෙරළා ගැනීමට නුපුළුවන. ඇත්තෙන්ම මෙය සිදු වන්නේ කථා කිරීම හා සම්බන්ධ පද්ධතියේ ක්‍රියාකාරීත්වය පවතින අතරමය. භාෂාව තේරුම්ගැනීම පිළිබඳ අවබෝධයෙන් අඩුවීම සංවේදක දුර්භාෂය නම් වේ. මෙහිදි රෝගියාට යමෙක් කථා කරන දේ තේරුම් ගැනීමට නොහැකි අතර අණ කිරීමටද ක්‍රියාත්මක වීමටද නොහැකිය. සිත අභ්‍යන්තරයේ කථාවද දෝෂ සහගත වන අතර ප්‍රකාශ කිරීමද දෝෂ සහගතය. මෙයාකාරයේ ආබාධ මොළයේ රුධිරවාහිනීගත දෝෂ නිසා සුලභව හටගනී.
පැහැදිලි ලෙස වචන උච්චාරණය කිරීමේ නොහැකියාව දුෂ්පාර්වය ( dysarthria ) නමින් හැඳින්වේ. මේ සඳහා තොල් දිව හා තල්ල යන ස්ථානවල ක්‍රියාකාරීත්වය හා සමායෝජනය හරියාකාරව තිබිය යුතුය. මෙම උපාංගවල ක්‍රියාකාරීත්වයේ දෝෂ නිසා කථාවේ ගොත ගැසීම වැනි අසාමාන්‍යතා ඇතිවිය හැකිය. මෙම තත්ත්ව විදලිත තල්ල ( cleft palate ) හෝ හරියාකාරව නොපැළඳි බොරු දත් කුට්ටම් නිසාද සිදුවිය හැක. තවද මෙම උපාංග ක්‍රියාත්මක කරන පේෂි මොළයට සම්බන්ධ කරන ස්නායුවල දෝෂ නිසාද කතාවේ දෝෂ හටගනී. ළමා වියේ මුල් කාලයේ කන් ඇසීමේ දෝෂයන්ද මෙවැනි ත්ත්ව හට ගැන්වීමට පුළුවන. 
කථාවේ පරිමාව අඩුවීම දුස්සවනය ( dysponia ) නමින් හැඳින්වේ. ස්වරාලය හා ස්වර තන්තුවල ක්‍රියාකාරීත්වයේ දෝෂ නිසා කටහඬ ගොරෝසු වූ ස්වභාවයක් නැතහොත් උගුර බැරැන්ඩි වූ ලෙසක් හට ගැනීමට පුළුවන. මෙසේ වන්නේ ස්වසන චලන දුබල වීම නිසා හෝ ස්වර තන්තු හරහා ගලන වායු ධාරාව දුබල වීමෙන් ස්වර තන්තු හරියාකාරව ක්‍රියාක්මක නොවීම නිසාය. මොළය ඇතුළු කපාළ ස්නායු දෝෂ මීට හේතු වීමට පුළුවන. 
ඉහත සඳහන් කළ තත්ත්වවළින් දුර්භාෂය හෙවත් ඩිස්පේසියා‍වෙන් පෙළෙන අයෙකු මානසික රෝගයකින් පෙළෙන්නෙකු ලෙස වරදවා වටහා ගැනීමට පුළුවන. බොහෝවිට මෙය සිදු වන්නේ අංශභාග තත්ත්වයක් රහිතව මෙවැනි අවස්ථාවක් ඇති වුවහොත්ය. දුස්සවනය හෙවත් ඩිස්පෝනියාව නිතර දක්නට ලැබෙන්නේ මානසික විඝටනකාරී අවස්ථාවලදී ( dissociation ) එනම් මානසික පීඩාකාරී අවස්ථාවනට මුහුණ දෙන තැනැත්තෙකුගේ ස්වයං මෝහන තත්ත්ව යටතේය. නමුත් සමහරු මෙවැනි තත්ත්වයන් මවා පෑමට පුළුවන.
කුඩා දරුවෙක් සාමාන්‍යයෙන් මාස 6ක පමණ කාලයේ සිට නොයෙකුත් ශබ්ද පිට කිරීමට පටන් ගනී.මේවා බොහෝවිට තනි අකුරේ වදන්ය. මුළින්ම උච්චාරණය කරන්නේ සරළ අක්ෂරය. ප,බ,ම,ට,ඩ,න යන ඒවා සරළ අක්ෂර වේ. මේවායින් ප,බ යන අක්ෂර ඕෂ්ටජ නම් වූ තොල්වලින් හට ගන්නා ඒවා වවන අතර (ම) අක්ෂරය ‍තොල් හා නාසයෙන් උපදී. (ට) හා (ඩ) යනු මුර්තජ නම් වූ දිව අග තල්ල කෙළවර ගැටීමෙන් උපදින්නක් වන අතර (ණ) යනු දිව අග තල්ල කෙළවර හා නාසය යන ස්ථානවලින් උපදින්නකි. අනෙකුත් අක්ෂර මීට වඩා තරමක් සංකීර්ණ වන අතර ක්‍රමයෙන් වයසින් වැඩෙන විට උච්චාරණය කිරීමට හැකිවේ. දරුවාගේ මෙම උච්චාරණවලට බාහිරින් ලැබෙන ප්‍රතිචාරය මත කථාව වර්ධනය වන අතර උත්තේජන නොලැබීම කථාවේ වර්ධනයට බාධාවක් විය හැක. සාමාන්‍යයෙන් වයස මාස 15දී පමණ දරුවාට වචන 2-6 දක්වා පමණ කථා කළ හැකිය. වයස මාස 18 දී පමණ තමාටම කථා කරගනිමින් සෙල්ලම් කරයි. වචන 6-20 දක්වා පමණ භාවිතා කරයි. අවුරුදු 2 වන විට වචන 50ක් පමණ දන්නා අතර වචන 2කට වඩා භාවිතා කර සරළ වැකි සාදයි. ක්‍රීඩා කරන විට තමාටම කථා කරයි. නොදන්නා වස්තූන්ගේ නම් නිතරම අසයි. වයස අවුරුදු 2 1/2 පමණ මම,මට,ඔයා යන සර්ව නාමපද භාවිතා කරයි. කතා කිරීමට ඉතා උනන්දුවක් දක්වන අතර එම කාළයේදී (අවුරුදු 2-4) කථාවේ රිද්මයේ අසාමාන්‍යතා සුලභ දක්නට ලැබේ. 
මේවා අතර අක්ෂර පටන් ගැනීමේදී නැවත නැවත කීම්, ප්‍රමාද වීම්, ඇනහිටීම් ආදිය තිබිය හැකි අතර මෙම තත්ත්වය අසාමාන්‍ය නොවේ. මෙය වයසින් වැඩෙන විට ක්‍රමයෙන් නැතිවී යයි. කෙසේ නමුත් සමහර ළමයින්ගේ ස්වසනය හා සම්බන්ධ පේශි උරහිස් හා මුහුණේ පේශි චලන සමඟ ඇතිවන ගොත ගැසීම් ප්‍රාථමික පාසල් අවධියේදී ක්‍රමයෙන් වැඩිවී පසුව අඩුවී යා හැක.
ගොතගසන්නන් අතර වර්ග 2ක් දක්නට ලැබේ. මින් එක් කොටසක් නොදියුණු සමාජ පරිසරයක ජීවත්වන දරුවෝ වෙති. බොහෝවිට මොවුන්ගේ දරු ප්‍රසූතියේදී සිදු වූ අනතුරු පිළිබඳ ඉතිහාසයන්ද තිබිය හැකිය. අනෙක් කොටස සමාජයීය වශයෙන් උසස් මට්ටමක ජීවත්වවන සාමාන්‍ය බුද්ධියෙන් හෝ බුද්ධිමත්බවින් ඉහළ මට්ටමක සිටින දරුවන් වෙති. මෙවැනි  දරුවන්ගේ මව්වරුන් දරුවන්ට වැඩි ආරක්ෂාව හා ආදරයක් දක්වන්නන් වෙති. සමහර කුඩා ළමුන්ගේ ඉහත සඳහන් කළ ආකාරයේ ගොත ගැසීම් මෙවැනි අම්මලා ලොකු ප්‍රශ්නයක් කරගනිති. නැවත නැවත අම්මලා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරවීම නිසා දරුවා අපහසුවට පත්වේ. මෙය ගොත ගැසීම තදබල වීමට හේතුවක් වේ.
 ගොත ගැසීම මානසික රෝගයක ලක්ෂණයක් නොවුවද කාන්සාව ඇතුළු මානසික පීඩා වලට මුහුණ පෑ අවස්ථාවලදී එය තදබල වේ. මෙමඟින් ලජ්ජාවට පත්වන පුද්ගලයාගේ ආත්ම විශ්වාසය අඩුවන අතර මෙය චිත්තවේගීය ආබාධ වලට මුළපිරීමට පුළුවන.

-වෛද්‍ය සරත් පඬුවාවලගේ මනස හා ආබාධ කෘතිය ආශ්‍ර‍යෙනි-

No comments:

Post a Comment